Monday, June 21, 2010

මකරාක්ෂයා

මකරාක්ෂයා-ධර්මසිරි බණ්ඩාරනායක
මකරා හොඳය.මකරා ලස්සනට කරුණාවට ආදරය කරයි.නමුත් ඔහු පවතින්නේ අන්ධකාරයේය.පරමාර්ථය‚ ආත්මාර්ථය වඩවා ගැනීමය.එවිට මකරාගේ අඳුරු කොරපොතු වල අවලස්සන හා නියපොතුවල වේදනාව බාහිරට දැනෙන්නට පටන් ගනී.මුවේ  ගින්දර වලට සියල්ල අළු කල හැකි බව දැනී යයි.ඒ වේදනාවට බිය ය.එබැවින් මකරා තවමත් හොඳය.බිය පහ කිරීමට බාහිර බලවේගයක් ඇවැසිද?
මකර නගරයේ කලාකරුවෝ අතුරුදහන් වී සිටියහ.නමුත් මෙහි සියල්ලෝම අතුරුදහන් වී සිටිත්ද?අධ්‍යාපනඥයින්-විද්‍යාඥයන්-දේශපාලනඥයන්-ආර්ථික විද්‍යාඥයන්-.....මෙහි වගකිව යුතු පාර්ශවයට මම-අපි-ඔබ සියල්ලෝම ඇතුලත් නොවන්නේද?
මිනිසුන් ඇතුලේ කුඩා මකරකු සිටී.ඒ කුඩා මකරන් මහා මකරකුගේ ආභාෂයෙන් උපත ලද්දන්‍ වේ. මහා මකරුන් මර්දනය කළද කුඩා මකරුන්  බැහැර කිරීම ස්වයංශෝධිත ක්‍රියාවක් බව පැහැදිලි කරයි.මේ කාලයේදී මකරුන්ගේ බෝවීම අති බහුලය.දේශපාලනික-සමාජයීය-ආර්ථික-අධ්‍යාපනික-සංස්කෘතික යන විවිධ ස්ථරවල මකර බලපෑම් දැකිය හැකිය.තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ව්‍යාප්ත කල මකර ජාන වල බලපෑම් කිරි පිටි බොනු ලබන කුඩා දරුවකුගේ කිරි ජෝගුව මෙන්ම විශ්‍රාම ගිය වගකිව යුතු පුද්ගලයන්ගේ ජීවන තොරතුරු මඟින් ද ඉදිරිපත් කරනු ඇත.
මකරාක්ෂ පිළිබඳ අවබෝධයෙන් සිටින්නන් හට මකර පැවැත්ම සඳහා ඇති කරවන ගින්නේ පීඩාකාරී උණුසුම ද පීලි ගඳ ද ගර්ජනාවේ පුහු ඝෝෂාවද හොඳින් වැටහේ.නමුත් ජීවි අජීවි සියල්ල නිශ්ශබ්දය.ලාන්ස්ලොට්ගේ අභීත භාවය යනු සටනේ උත්ප්‍රෙරණයයි.ඒ සඳහා ලාන්ස්ලොට් ක්‍රියාකාරී විය.කිසියම් භයක් ඔහු ජය ගෙන තිබිණි.ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කිරීම සඳහා මූලද්‍රව්‍ය ක්‍රියාකාරී විය යුතුය.ඝට්ටනය විය යුතුය.මූලද්‍රව්‍ය නිද්‍රාගතය.උදාසීන හෝ මූලද්‍රව්‍ය අතර ප්‍රතික්‍රියාවක් තිබුණේ නම් උත්ප්‍රේරණය ප්‍රශස්ත උෂ්ණත්ව යටතේ මනා ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයක් ලබා ගනු නොඅනුමානය.මකරාක්ෂ යනු අඳුරු අහස මොහොතකට එළිය කල මල් වෙඩිල්ලක් සේ රඟහල තුලම හෝ නරඹන්නන්ගේ හිත් තුලම හෝ නිෂේදනය වනු ඇතැයි ද සැකය.
මහා ගිනි රශ්මියක් ඇවැසි ඝනීභූත ශීතලට ගිනි පුපුරත් වටිනා බව පිළිගත යුත්තේ ගිනි පුපුරු කෙසේ හෝ ගිනි ඇවිලීමට සමත් නිසාය.
“සර් ලාන්ස්ලොට්‚දිගුකලකට පසු මම ඔබව දැක්කේ.ඔබට කුමක් සිදුවීද? හිසකෙසුත් සුදු වෙලා.”-එලිසා
ඔව් ලාන්ස්ලොට්‚කල යුත්ත නොදත් කාලයේදී මකරාක්ෂ නම් අගනේය.ඔබට උපහාර!
ප.ව-නාට්‍යයේ ඇති නාට්‍යට අදාල වූ අනිකුත් ලක්ෂණ වලට පෙර එහි සාරය වැදගත් විණි යයි සිතුණි.රඟපාන ලද පුද්ගලයන් අමුතුවෙන් රඟ පෑ යුතු නැත.ඔවුන් විදා දැක්වීමට උත්සුක වන චරි ඊටත් වඩා හොඳින් යථාර්තයේදී රඟපානු දැක ඇත්තෙමි.
- ඉෂූ



No comments:

Post a Comment